WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංගට ලක්ෂ 11ක දඩයක්

2024 July 08- Page Views : 35

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා 20/20 සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට LPL තරග කමිටුව තීරණය කර තිබෙනවා.

එහිදී මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කොට ඇත්තේ.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත ‘හෙල්මට්’ එකක් පැලඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ තිබෙනවා.

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් වනිඳුට එරෙහි දඬුවම කැන්ඩි කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් LPL තරගාවලියේ සියලු ක්‍රීඩකයන් වෙත තරග කමිටුව දැනුම්දී ඇත්තේ කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමෙන් වලකින ලෙසයි.

එමෙන්ම තරග අවසානයේ පැවැත්වෙන තෑගි ප්‍රදානෝත්සවයට නිසි පරිදි සම්පූර්ණ ක්‍රීඩක ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බවටද ක්‍රීඩකයින්ට නියෝග කොට තිබෙනවා.

ඒ වනිඳු හසරංග තරග අවසානයේ පැවති තෑගි ප්‍රදානෝත්සවයකට ‘සෙරෙප්පු දෙකක්’ දමාගෙන පැමිණීම ද තරග කමිටුවේ අවධානයට යොමු වීම හේතුවෙන්.