16 හැවිරිදි අයෙකුට පහර දුන් එකම පවුලේ සිව්දෙනෙක් අත්අඩංගුවට
2026 June 04- Page Views : 5
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු වීඩියෝවට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල ප්‍රදේශයේ දේපල සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.
ගාල්ල පොලීසියට ලද තොරතුරකට අනුව දේපළ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සැකකරුට පැමිණිලිකාර පාර්ශවය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට ඔහුගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
වයස අවුරුදු 47ක් වන කාන්තාවක්, ඇයගේ සැමියා සහ ඔවුන් දෙදෙනාගේ 17 හැවිරිදි දියණිය සහ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ විඩියෝවකට අදාළව සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් හත් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරට්ටපෙරියකුලම වැව ආසන්නයේදී සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ඉරට්ටපෙරියකුලම පොලීසිය විසින් අදාළ පහරදීමට සම්බන්ධ සිසුන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 14ත් 17ත් අතර වයසැති සිසුන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සිසුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දින දක්වා කැබිතිගොල්ලෑව පරිවාස භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.