WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්

2026 July 18- Page Views : 11

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය විසින් ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කර තිබේ.

බාබඩෝස්හි උපත ලබා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ සෝබර්ස් මහතා අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවිය. 

ඒ මහතා සිය 90 වැනි උපන්දිනය සැමරීමට දින 11ක් ඉතිරිව තිබියදී ඊයේ (17) මෙලෙස මෙලොවින් සමුගත්තේය.

ක්‍රිකට් ලෝකයම කම්පාවට පත්කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඕබින් සෝබර්ස්ගේ අභාවය සිදුවූ දිනය මෙන්ම ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනයද ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට බාබඩෝස් රජය පියවර ගෙන ඇත.

එරට ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බාබඩෝස් අග්‍රාමාත්‍ය මියා මොට්ලි මේ බව පැවසීය.

"මෙම ශෝකී දින දෙක තුළ කිසිදු නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ. එරට ජාතික ධජය වහාම ක්‍රියාත්මක වන පරිදි අඩකුඹු කර තැබීමට නියෝග කර ඇති අතර, සර් ගැරීගේ දේහය භූමදානය කරන තෙක් එය එලෙසම පවතිනු ඇති. 

රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ස්ථානය, දිනය සහ අනෙකුත් සියලු කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු කැබිනට් කාර්යාලය සහ බාබඩෝස් ආරක්ෂක බළකාය එක්ව සම්බන්ධීකරණය කරමින් ඉදිරියේදී දැනුම් දෙනවා. 

සර් ගැරී, බාබඩෝස් දේශය මෙන්ම සමස්ත බටහිර ඉන්දීය කොදෙව් කලාපයත්, මුළු මහත් ලෝකයත් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. අප ඔබට සැමදා ආදරය කරනවා."

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති කිෂෝර් ෂලෝ මහතා ද සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. 

ඔහු කියා සිටියේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සිය ජීවන ඉනිම අවසන් කළද, ඔහු තැබූ නොමැකෙන උරුමය කැරිබියන් කලාපයේ ජනතාවගේ හදවත් තුළ සහ සමස්ත ක්‍රිකට් ලෝකය තුළ සදාකාලිකවම රැඳී පවතිනු ඇති බවයි.