දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල එන්න එන්නම අඩුවෙයි
2026 July 18- Page Views : 11
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය නිරාකරණය කර පවතින දුම්රිය කාලසටහනට අනුව ධාවන කටයුතු පවත්වාගෙන යාමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවය.
ඔහු පෙන්වා දුන්නේ 2023 වසර වනවිට 106ක් ලෙස පැවති සමස්ත එන්ජින් සංචිතය, වසර 3කට පසු අද වන විට 98ක් දක්වා අඩු වී ඇති බවය. එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.
2023 පැවති දුම්රිය කාලසටහන අනුව දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇති අතර, එම ධාවන කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එන්ජින් 74ක අවශ්‍යව තිබී ඇත.
කෙසේ නමුත් එවැනි ගමන්වාර සංඛ්‍යාවක් ධාවනය කිරීම සඳහා ඒ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු තත්ත්වයක තිබී ඇත්තේ එන්ජින් 68ක ප්‍රමාණයක්.
අද වනවිට එම එන්ජින් ප්‍රමාණයද 49ක් දක්වා අඩුවී ඇත.
මේ අතර 2023 වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලවේග කට්ටල සංචිතයේ 109ක් තිබී ඇති අතර, මෙම වර්ෂය වනවිට එය 106ක් දක්වා අඩුවී තිබේ. බලවේග කට්ටල 3ක් ඉවත්කිරීමට සිදුව ඇත.
කෙසේ නමුත් පවතින සේවාව ලබාදීම සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍යය.
2023 වනවිට දුම්රිය දෙපාර්තමේනතු සංචිතයේ ක්‍රියාකාරී මට්ටමේ තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 78ක් වන අතර, එය මේ වනවිට එය 52 දක්වා අඩුවී ඇත. අදාළ සේවාව ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව සතුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතී.
ඒ අනුව සමස්තයක් ලෙස 2023 වසරේදී 261ක් ලෙස පැවති එන්ජින් සහ බලවේග කට්ටල එකතුවෙන් 19ක් ඉවත්කර ඇති අතර, 2026 වනවිට සමස්ත සංචිතය 242 දක්වා පහත වැටී ඇත.
ඒ අනුව පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බව කසුන් චාමර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.