විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි
2025 July 17- Page Views : 8 ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) යළි රැස්වීමට නියමිතව තිබේ.
පසුගිය 15වන දින ශ්‍රී ලංකා විදුල බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මෙම කාරක සභාවේ දී පළමු වරට සලකා බැලීම සිදුකළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිළධාරීන් ඒ සඳහා සහභාගී වු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබු යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී කරුණු කිහිපයකට එකඟතාවය පළ වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව ද ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර එකඟ වු සංශෝධන ද සමග පනත් කෙටුම්පත් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර අද දිනයේ දී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.
ඒ අනුව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද දිනයේ යළි රැස්වී එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.