අවුරුදු 3-5 දක්වා දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය නුසුදුසුයි - අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
2026 March 14- Page Views : 8
වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන මාර්ගගත සම්මන්ත්‍රණ සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බවය.
අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවෙකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සහ සමාජීය අන්තර්ක්‍රියා සහිත පරිසරයක බවත් පෙන්වා දෙන අමාත්‍යාංශය සඳහන් කරනුයේ තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන කිරීම සහ නිර්මාණාත්මක චින්තනයටද බාධා පමුණුවන බවය.
ඒ අනුව රජයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමග ගනුදෙනු කළ යුතු බවත් කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට විශේෂයෙන් මොළයේ වර්ධනයට අහිතකර බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
වාණිජ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි සම්මන්ත්‍රණ මගින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන බවත් ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට එය බාධාවක් බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.
ඒ හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සලකා බලා මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවි අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බවය.
ඒ අනුව දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍යය සම්බන්ධව දෙමාපියන් ලෙස දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස අමාත්‍යාංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.