දිට්වා ආධාර තොගයක් අරණායක නිලධාරිනියන් දෙදෙනෙකුගේ නිවෙස්වල
2026 March 14- Page Views : 8
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා රජය මගින් හා වෙනත් ආයතන මගින් ලබා දී තිබූ සහනාධාර තොගයක් සිය නිවාසවල තබාගෙන සිටි සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙකු අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඉන් එක් නිලධාරිනියක් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා භාරකාරිණියක් ලෙසද කටයුතු කර ඇති බවය.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිත් නිශාන්ත මහතාට ලද තොරතුරක් මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ විමර්ශන නිලධාරීන් අරණායක පොලීසිය සමග එක්ව සිදුකළ විමර්ශනයේදී මෙම ආධාර තොගය නිවෙස්වල සඟවා තිබියදී සොයාගෙන තිබේ.
ඒ අනුව අදාළ නිලධාරිනියන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදු කෙරෙන අතර නිලධාරීන් භාරයට ගත් සහනාධාර බඩු තොගය පිළිබඳව තක්සේරු කිරීමටද නියමිතව තිබුණි.