එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ සහ වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගමන් බාධා හෝ හදිසි වෛද්‍ය අවශ්‍යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා, සංචාරක වියදම් සම්පූර්ණයෙන්ම දැරීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බවට වග බලා ගන්නා ලෙස එහිදී අවධාරණය කර ඇත.

වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා මනා සූදානමකින් යුතුව සහභාගී වන ලෙසත්, එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබේ.

වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙස දැඩිව අවවාද කර ඇත.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් වන අතර, එමඟින් වර්තමාන වීසා බලපත්‍රය අහිමි වීමට අමතරව අනාගතයේදී කවරදාකවත් අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමට ද එය හේතු විය හැකි බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.