කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක අද (04) අලුයම 5.30ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් නතර කිරීමට පොලීසිය පියවර ගත් බව කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා තිබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.