පවතින වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් අද සවස වනවිට මීටර් 4 . 44 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙය සුලු ගංවතුර මට්ටම ඉක්මවා ගිය තත්ත්වයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබිණි. ඉහළ ප්‍රදේශවල වැසි ජලය ගලා ඒම මත අත්තනගලු ඔයෙහි ජල මට්ටම මෙලෙස ඉහළ යාම හේතුවෙන් අත්තනගලු ඔය ආශ්‍රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවට ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු ඇඟවීමක් කරනු ලැබීය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත මහතා  සදහන් කර සිටියේ වර්ෂාව ඇද හැලීම මත ජල මට්ටම තවත් ඉහළ යාහැකි බැවින් අත්තනගල්ල , ගම්පහ ,මිනුවන්ගොඩ , කටාන සහ ජාඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත්බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවය. අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 දශම 50 දක්වා ඉහළ ගියහොත් එය මහ ගංවතුර ඇතිවීමේ තත්ත්වයක් බැවින් ඊට මුහුණ දෙමින් අවශ්‍ය පියවර ගැනීම සඳහා ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සිටින බවත් මේ සදහා ත්‍රිවිධ හමුදාවේද සහාය ලබාගැනීමට පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.