WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුස්ලිම් පාසල්වල ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

2024 April 03- Page Views : 31

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී තිබේ.

එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදුකරන ‍ලෙසය.