WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෙත්මී ලෝක ශූරතා පදක්කමක් දිනයි

2024 September 07- Page Views : 17

ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්රා නුවරදී පැවැත්වෙන ලෝක ශූරතා වයස 20 න් පහළ මල්ලවපොර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 53 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඒ අනුව රුසියානු ක්‍රීඩිකා වැලේරියා මිකිට්සිච් සමග ඊයේ (6) රාත්‍රීයේදී පැවැති ඉසව්වේ ලෝකඩ පදක්කම සදහා පැවැති අවසන් පූර්ව තරගය ලකුණු 6 - 2 කට ජය ගනිමින් ඇය ලෝක ශූරතාවලියකදී පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවටද පත් වූවාය.

චීන ක්‍රීඩිකා ජින් සැහෑන්ග් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය සමවීමෙන් පසුව ජයග්‍රාගිකාව නිර්දේශ කිරීමේදී සැලකිල්ලට ගන්නා තීරක ලකුණු ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ප්‍රදානය වීමෙන් නෙත්මීට ඉසව්වේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවීම ඇය මෙම ලෝක ශූරතා පදක්කම දිනා ගැනීමේදී විශේෂයෙන් සදහන් කළ යුතුය.

කෙසේවූවත් නෙත්මී ඊයේ තරගය රුසියානු ක්‍රීඩිකාවට පරාජය වූයේ නම් ඇය ඉසව්වේ පස් වැනි ස්ථානය තෙක් පහළට පත්වීමේ තත්වයක්ද උදාවී තිබුණි.

මෙම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව මීට පෙර ජාත්‍යන්තරයේ ඉහළම අවධානය දිනාගත් අවස්ථාවක් වූයේ 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 50 බර පංතිය (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු නිපුණි වාසනා ධර්මසේන මූලික වටයේදී පරාජයට පත්වූවාය. පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා මෙම තරග සංචාරයට එක්ව සිටියි.මෙම තරගාවලිය ඉරිදා (8) නිමාවට පත්වේ.

නෙත්මී අහිංසා අවසන් පූර්ව වටය දක්වා පැමිණි අයුරු.

• කසකස්තාන ක්‍රීඩිකා යෙන්ගිලික් කබිල්බෙක්ට එරෙහිව ලකුණු 10 - 0 ක ජයක්

• බල්ගේරියානු ක්‍රීඩිකා නිකොල් ක්‍රසිමිරෝවා එරෙහිව ලකුණු 10 - 0 ක ජයක්

• හංගේරියානු ක්‍රීඩිකා ලිලීආනා කපුවාරිට එරෙහිව ලකුණු 14 - 03 ක ජයක්

• චීන ක්‍රීඩිකා ජින් සැහෑන්ග් සමග තරගය සමවීමෙන් (2 - 2) තීරක ලකුණු ක්‍රමයෙන් ජින් සැහෑන්ග් අවසන් තරගයට නිර්දේශ වීමෙන් නෙත්මි අවසන් පූර්ව වටයට ප්‍රවේශ විය.