WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 116ක් දක්වා ඉහළට

2026 January 11- Page Views : 8

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14වැනි දිනටත් පැවැත්විණි.

එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 116ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

ඒ අතර කුඩා ළමයින් ද නව දෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත.

විරෝධතාකරුවන් තවදුරටත් දේපළවලට හානි කරමින් ප්‍රචණ්ඩව හැසිරෙන අතර එරට පුරා අන්තර්ජාල සේවා ද තවමත් අක්‍රිය තත්ත්වයේ පවතී.

මෙවන් පසුබිමක එරට උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ විරෝධයේ නිරත පිරිස්වල අරමුණ අමෙරිකාව සතුටු කිරිම බවය.

එමෙන්ම විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු "දෙවියන්ගේ සතුරෙකු" ලෙස සලකනු ලබන අතර, එය මරණ දඬුවමට යටත් කළ හැකි චෝදනාවක් බවට ද ඔහු සඳහන් කර සිටී.

ඉරානය අස්ථාවර කිරීමේ අමෙරිකානු ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරමින් ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ලිපියක් ද යොමු කර ඇත.

මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් ටෙහෙරාන් අගනුවර රෝහල් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෙහෙරාන් නුවර සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය හමුවේ රෝහල් පද්ධතිය ද අර්බුදයට ලක්ව ඇති බවය.