ට්‍රම්ප්ගෙන් 10%ක නව ගෝලීය බද්දක්
2026 February 21- Page Views : 41
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලද බදු වෙනුවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 10ක නව ගෝලීය තීරු බද්දක් පනවා තිබෙනවා. ඔහු එම අධිකරණ තීන්දුව "අතිශය නරක" එකක් ලෙස හැඳින්වූ අතර, සිය වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් "මෝඩයන්" ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විනිසුරුවරුන් විසින් පසුගිය වසරේ දී ධවල මන්දිරය නිවේදනය කළ ගෝලීය තීරු බදුවලින් වැඩි ප්‍රමාණයක් නීති විරෝධී බව ප්‍රකාශ කිරීමෙන් කෙටි කලකට පසු ජනාධිපතිවරයා මෙම නව සැලසුම එළිදැක්වූවා. 6ට 3ක බහුතර තීන්දුවක් මගින් අධිකරණය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. මෙම තීරණය එම බදුවලට අභියෝග කළ ව්‍යාපාරිකයන්ට සහ අමෙරිකානු ප්‍රාන්තවලට ලැබුණු විශාල ජයග්‍රහණයක් වූ අතර, එමගින් ඩොලර් බිලියන ගණනක බදු මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව විවෘත වූවා. එසේම මෙය ගෝලීය වෙළෙද ක්ෂේත්‍රය තුළ නව අවිනිශ්චිතතාවක් ද ඇති කර තිබෙනවා. ඊයේ (20) ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, නීතිමය සටනකින් තොරව මෙම මුදල් ආපසු ලබා නොදෙන බවයි. මෙම ගැටලුව වසර ගණනාවක් තිස්සේ උසාවියේ පවතිනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා. එසේම මෙම තීරු බදු ක්‍රියාත්මක කිරීමට තමා වෙනත් නීති වෙත යොමු වන බවයි ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ.