පැරිස් නුවර හොඳම බෑගට් පාන් නිෂ්පාදකයා ශ්‍රී ලාංකිකයෙක්
2026 February 28- Page Views : 25
ප්‍රංශයේ පැරිස් නගරයේ දී පසුගිය 26 වැනිදා පැවති "Grand Prix de la Baguette de Tradition Française" තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ උපන් බේකරි ශිල්පියෙකු වන සිත්තම්පරපිල්ලෙයි ජෙගදීපන් සමත්ව තිබෙනවා.
43 හැවිරිදි ඔහු, සිය ප්‍රථම තරග වැදීමේදීම ප්‍රතිවාදීන් 142 දෙනෙකු පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක්.
පැරිස් නුවර පිහිටි ඔහුගේ "Fouil Didot" බේකරියට මෙම ජයග්‍රහණය වෙනුවෙන් යුරෝ 4,000ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, ඉදිරි වසරක කාලය සඳහා ප්‍රංශ ජනාධිපති මන්දිරය වන එලිසේ මාලිගයට (Élysée Palace) බෑගට් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව ද ඒ සමගම හිමිව තිබෙනවා.
පැරිස් නියෝජ්‍ය නගරාධිපති නිකොලස් බොනට් ඕලල්ජ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම තරගයේදී, බෑගට් පාන්වල පෙනුම, රසය, පිසින ලද ආකාරය, ඇතුළත මෘදු බව, ප්‍රමාණය සහ ලුණු ප්‍රමාණය යන නිර්ණායක යටතේ විනිශ්චය සිදු කර ඇති බව සඳහන්.
ජූරි සභාවක් විසින් තරගකරුවන් 143 දෙනෙකු අතරින් ජෙගදීපන්ගේ බෑගට් පාන් අංක එක ලෙස තෝරා ගෙන තිබෙනවා.
ජයග්‍රහණයෙන් පසු පාරිභෝගිකයන් විශාල පිරිසක් ඔහුගේ බේකරිය වටා එක්රොක් වූ අතර, සංක්‍රමණිකයෙකු ලෙස පැමිණ සිය උත්සාහයෙන් මෙසේ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සුබ පැතුම් එක් කර තිබුණා.
මීට පෙර 2023 වසරේදීද, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බේකරි ශිල්පී තර්ෂන් සෙල්වරාජා පැරිසියේ හොඳම බෑගට් පාන් නිෂ්පාදකයා ලෙස තේරී පත්වෙමින් මෙම කීර්තිමත් සම්මානය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වුණා.