ඉරානයේ සිටින තම පුරවැසියන්ට වහාම පිටවෙන්නැයි අමෙරිකාවෙන් දන්වයි
2026 February 28- Page Views : 25
කිසිදු අමෙරිකානුවෙකු කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය නොකළ යුතු බවත්, දැනට ඉරානයේ රැඳී සිටින අමෙරිකානුවන්ට වහාම ඉන් පිටවන ලෙසත්, අමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
එසේම වැරදි සහගත ලෙස පුද්ගලයන් රඳවා තබා ගන්නා රාජ්‍ය අනුග්‍රහය ලබන රටක් ලෙස ද ඉරානය නම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව සඳහන් කර ඇත්තේ.
මීට වසර 47කට පෙර ඉරාන පාලන තන්ත්‍රය බලය අල්ලා ගත් අවස්ථාවේදී, අයතුල්ලා කොමේනි විසින් අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම අනුමත කරමින් සිය බලය තහවුරු කර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාල සඳහන් කරන්නේ.
දශක ගණනාවක් පුරා, අනෙකුත් රාජ්‍යයන්ට එරෙහිව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අහිංසක අමෙරිකානුවන් මෙන්ම අනෙකුත් ජාතීන්ට අයත් පුරවැසියන් ද අමානුෂික ලෙස රඳවා තබා ගැනීමට ඉරානය දිගින් දිගටම කටයුතු කර ඇති බවත්, මෙම පිළිකුල් සහගත ක්‍රියාව අවසන් විය යුතු බවත්, එහි සඳහන්.
විදේශයන්හි වැරදි සහගත ලෙස රඳවා තබා ගන්නා අමෙරිකානු ජාතිකයන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය සමයේ විධායක නියෝගයක් නිකුත් කරන ලද අතර, ඉන් අනතුරුව කොන්ග්‍රස් මණ්ඩලය විසින් "2025 වැරදි සහගත ලෙස රඳවා තබා ගැනීමට එරෙහි පනත" (Countering Wrongful Detention Act of 2025) සම්මත කර තිබෙනවා.
එමගින් ඉරානය මෙම ගණයට නම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට බලය පවරා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඉරානය මෙය නතර නොකරන්නේ නම්, ඉරානය වෙත, එරට හරහා හෝ එරටින් පිටතට අමෙරිකානු ගමන් බලපත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් භූගෝලීය සංචාරක සීමාවන් පැනවීම ඇතුළු අමතර පියවරයන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන්ට සිදුවනු ඇති බවටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
ඉරාන පාලන තන්ත්‍රය ප්‍රාණ ඇපකරුවන් ගැනීම නතර කළ යුතු අතර, ඉරානය තුළ අයුක්ති සහගත ලෙස රඳවා තබාගෙන සිටින සියලුම අමෙරිකානුවන් නිදහස් කළ යුතු බව ඔවුන් පවසා තිබෙනවා.
එම පියවරයන් හරහා මෙම නම් කිරීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග අවසන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.