මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
2026 April 08- Page Views : 9
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (08) දින 40ක් ගත්වී තිබේ.
-------------------
Update - 07.40AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඊශ්‍රායලයේ 'චැනල් 12' (Channel 12) පුවත් සේවය උපුටාගමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ කරමින් පවතින පසුබිමකය.
මෙහිදී, ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන ඉලක්ක වූ බව සඳහන් වේ.
------------------
Update - 07.10AM
අද අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය යන රටවල් පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බව එම රටවල හමුදා මාධ්‍ය හරහා නිවේදනය කර ඇත.
බහරේනය තම වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී ඇති අතර, සෞදි අරාබිය සිය අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
------------------
Update - 07.10AM
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙම තත්ත්වය වාර්තා වී තිබේ.
ඒ අනුව, රන් මිල 2.3% කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
මේ අතර අනෙකුත් ලෝහ අතර, රීදි මිල සියයට 4.3කින් ඉහළ ගොස් ඩොලර් 76.08ක් දක්වා වැඩි වී ඇති අතර, ප්ලැටිනම් සහ පැලේඩියම් මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
------------------
Update - 06.10AM
ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
------------------
Update - 06.00AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
අද (08) උදෑසන 5.45 වන විට වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.48ක පහළ යාමක් බව සඳහන්ය
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇත.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇත.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 18.85ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
-------------------
Update - 05.30AM
ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අප්‍රේල් 10 වන දින සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්වීමට නියමිතය.
-------------------
Update - 05.00AM
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.
මෙය දෙපාර්ශවයටම බලපාන "දෙපාර්ශවික සටන් විරාමයක්" (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත.
මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.
-------------------