WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැතිසබා ලොක්කෝ ජිනීවා සමුළුවට

2024 October 24- Page Views : 32

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 149 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය කැපවීම තහවුරු කරමින් පැවති මෙම සමුළුව සඳහා රටවල් 130 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 630 කට අධික පිරිසක් සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී වැදගත් රැස්වීම් සහ සාකච්ඡා මාලාවකට ද ක්‍රියාකාරීව සහභාගි වූහ.

පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමයේ (ASGP) රැස්වීම, ආසියා පැසිෆික් කණ්ඩායම් රැස්වීම, තිරසාර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටු රැස්වීම සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඇතුළු ප්‍රධාන රැස්වීම් ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.

මෙහිදී ගෝලීය වශයෙන් පාර්ලිමේන්තුවලට මුහුණදීමට සිදුවන අභියෝග සහ පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබදව කාලීන වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීම ද සිදුවිය.

පාර්ලිමේන්තු කථානායකවරුන් 54 දෙනෙකු, නියෝජ්‍ය කථානායකවරුන් 36 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුවට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 36ක් කාන්තාවන් වූ අතර, වයස අවුරුදු 45ට අඩු නියෝජිතයින්ගේ ප්‍රතිශතය සියයට 25ක් විය. මෙලෙස විවිධත්වයෙන් යුතු නියෝජිත පිරිසකගෙන් සමන්විත වූ සමුළුවේදී පාර්ලිමේන්තු භූමිකාවන්හි නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සාමූහික කැපවීම අවධාරණය කෙරිණි.

තවද මෙරට පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ආචාර්ය ටූලියා ඇක්සන් (Tulia Ackson), ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සහයෝගීතා වැඩසටහනේ උපදේශක බ්‍රිජිට් ෆිලියන් (Brigitte Filion) සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තිරසර සංවර්ධන ඉලක්ක වැඩසටහනේ ව්‍යාපෘති නිලධාරී / උපදේශක ඉසබෙල් ඔබදියාරු (Isabel Obadiaru) යන මහත්මීහු සමඟ සාකච්ඡාවලට එක්වූහ. එසේම ඔවුහු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ න්‍යෂ්ටික ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එලේනා බුග්ලෝවා මහත්මිය සහ භූතානයේ ජාතික සභාවේ මහලේකම් ඩුබා මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූහ.