WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගමන් බලපත්‍ර පාලකවරයා ක්‍රිකට් ක්‍රීඩකයා පන්නලා

2024 September 13- Page Views : 35

සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ටී10 ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදේශ ගමන් බලපත්‍රය ගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා එම ක්‍රීඩකයා එළවාදමා තිබේ.

අදාල තරගාවලියට තෝරාගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛණ ද රැගෙන ජනිෂ්ක පෙරේරා නැමැති ක්‍රීඩකයා බත්තරමුල්ල කාර්යාලයට අද (13) පෙරවරුවේ ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා ජනතාව ඉදිරියේ ඉතාම පහත් ලෙස බැනවැදී පලවා හැර ඇති බව වාර්තා වේ.

හරාරේහිදී පැවැත්වෙන එම තරගාවලියට 23 හැවිරිදි එම ක්‍රීඩකයා තෝරාගෙන ඇති බවට මීට දින දෙකට පෙර දැනුවත් ඇති බවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අදාල අනුමත කිරීමේ ලිපි රැගෙන ආගමන විගමන කාර්යාලයට අද ගොස් තිබේ.

ජනිෂ්ක පෙරේරා නැමැති ක්‍රීඩකයා තරගාවලියට සහභාගී වීම සඳහා මේ මස 17 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යා යුතු අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම අදාල ක්‍රීඩකයාගේ දුර්වලතාවක් නොවන බව අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මෙම තරගාවලිය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් සංවිධාන කරන තරගාවලියක් බැවින් එයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිවන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි බවත් කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා සම්බන්ධ ගැටලුව පිළිබඳව අවදානය යොමුකිරීමට පැය කීපයක් ලබාදෙන ලෙසත්ය. දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 ක් නිකුත් කරන බවත් සෙසු අයට දිනයක් දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

මහජන ආරක්‍ෂක අමාත්‍යයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ අදාල ක්‍රීඩකයා ද දිනයක් වෙන්කර ගත යුතු බවත් වෙනත් කිසිඳු ක්‍රමයකින් විදේශ ගමන් බලපත්‍රය ගත නොහැකි බවත්ය.

බලධාරීන් පවසන ආකාරයට මෙම ක්‍රීඩකයාට තරගාවලියට සහභාගිවීමට විදේශ ගමන් බලපත්‍රය ගැනීමට දින කීපයක් පෝලිමේ සිටීමට සිදුවන තත්වයක් මේ වන විට උදාවී තිබේ.