WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා

2025 August 13- Page Views : 28

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා නගයි.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2024 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට, පුද්ගලයන් අමු අමුවේ වෙඩි තබා ඝාතනය, රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන අඩම්තේට්ටම්, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය දැඩි කනස්සල්ලෙන් පසුවන බව පැවැසෙයි.

ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වාර්තා කරන ලද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ මරණ හතක් පිළිබඳව එම වාර්තාවේ දැක්වෙයි.

2022 ‘අරගලයෙන්’ පසු පැවැති මැතිවරණවලින් විශිෂ්ඨ ලෙස බලයට පත් වත්මන් රජය, සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ ‘අවම ක්‍රියාමාර්ග’ පමණක් යැයි ද වාර්තාවේ සඳහන් වෙයි.

පාපොච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පැමිණවීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් ආදිය සම්බන්ධයෙන් පමණක් නොව, කම්කරු අයිතිවාසිකම් සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකිරීම පිළිබඳ චෝදනා, යුද සමයේ අතුරුදන්වූවන්  සම්බන්ධයෙන් පවතින මන්දගාමී ප්‍රගතිය, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

අන්තර්ජාල ආරක්ෂණ පනත ද විරෝධතා මර්දනය කිරීමට යොදාගැනීමට ඉඩ ඇති බවට ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර ඇත.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව, තවත් රටවල් කීපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අඩංගු වෙයි.