WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි

2023 October 05- Page Views : 37

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් සුළු වේලාවකි.

තරගාවලියේ ආරම්භක තරගය වත්මන් ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායම සහ අනුශූරයින් වන නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

මේ අතර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගයේ වීරයා වූ බෙන් ස්ටොක්ස් හට ආරම්භක තරගය අහිමිවීමේ අවදානමක් පවතින බවය.

උකුළේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහුට අද පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගය අහිමිය හැකි බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

තරගය පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දියාවේ ගුජරාටයේ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ලොව දැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන මෙහි එක්වරකට ක්‍රීඩා ලෝලීන් 130,000කට තරගයක්‍ නැරඹීමේ පහසුකම් සපයා තිබීම විශේෂත්වයකි.

මේ අතර අද තවත් විශේෂත්වයක් වන්නේ ලෝක කුසලාන තරග ආරම්භයට පෙර සමාරම්භක උත්සවයක් නොපැවැත්වීමය.

අදින් ඇරඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගී වන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමග දිල්ලි හිදී ඔක්තෝබර් 07 වනදා පැවැත්වෙයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ 13 වන අදියර මෙය වන අතර මේ දක්වා වැඩිම ලෝක කුසලාන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

1987, 1999, 2003, 2007, 2015 යන වසරවල එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගනිමින් අවස්ථා 05කදී ඔවුන් ලෝක ශූරතාව හිමිකරගත්තේය.

ඊට අමතරව ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් වර්ෂ 1983, 2011දී හා වර්ෂ 1975, 1979දී ලෝක කුසලාන දෙක බැගින් දිනාගෙන ඇත.

මීට අමතරව වර්ෂ 1992දී පාකිස්තානයත් වර්ෂ 1996දී අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමත් 2019 වර්ෂයේදී එංගලන්තයත් ලෝක ශූරයින් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් ඉවතට විසිවීම හේතුවෙන් දෙවරක් ලෝක ශූරයින් වූ කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමිවීම තවත් සුවිශේෂී සිදුවීමකි.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් අතරින් ප්‍රබල නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන නොතිබීම ද විශේෂත්වයකි.

ලෝක කුසලාන ඉතිහාසහයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී එනම් 2007 වර්ෂයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් සහ 2011 වර්ෂයේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් අනුශූරයින් වී ඇත.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පළමුවරට මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව එක්වන්නේ සුදුසුකම් ලබාගැනීමේ වටයකට එක්වීමෙන් අනතුරුවය.

එහිදී සුපිරි දක්ෂතාවයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිත ලෙස එම තරගාවලිය ජයගනිමින් මෙවර ලෝක කුසලානයේ සිය ස්ථානය වෙන්කරගත්තේය.

සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් ලෝක කුසලාන තරගාවලියට පිවිසි දෙවන කණ්ඩායම නෙදර්ලන්තයයි.