WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් මෝසමක්

2023 July 25- Page Views : 35

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ගොනුකර තිබූ මෝසමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම දැනුම් දුනි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් මහතා විසින් මෙම මෝසම සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම කරුණ මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන හෙයින් ඊට අදාළ ව අභියාචනාධිකරණයට නියෝග නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ද සඳහන් කළේ මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ මෝසම අගෝස්තු මස 03 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.